අපගේ දැක්ම
විශිෂ්ටතම ඵලදායිතා කිරුළ හිමි රාජ්‍ය සේවයේ පෙර ගමන්කරු වීම.අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"ඉතිහාසය
සිංහල රජ සමයේ ප්‍රාන්ත රාජ්‍යක් ව පැවති ඌව පළාත ප්‍රාග් ඓතිහාසික යුගයකට හිමිකම් කියන දීර්ඝ ඉතිහාසයකින් යුතු ප්‍රදේශයකි. ඉංග්‍රීසි පාලකයින් සිය පරිපාලන පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකාව ඒකකවලට බෙදෙන ලද අවස්ථාවේ දී ඌව පළාත එක් පරිපාලන ඒකකයක් වශයෙන් නම් කරමින් බදුල්ල දිස්ත්‍රික්කය වෙන් කරනු ලැබුව ද පාලනය සහ ආදායම් කටයුතු පිළිබඳව පවත්නා පහසුව සලකා බලමින් 1960 ජනවාරි 01 වන දින සිට ඌව පළාත බදුල්ල, මොනරාගල වශයෙන් දිස්ත්‍රික්ක දෙකකට වෙන් කිරීමට තීරණය කරන ලදී.
ඒ අනුව, වෙල්ලස්ස, මොනරාගල සහ වැල්ලවාය ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ඨාසවලින් සමන්විත මොනරාගල දිස්ත්‍රික්කය බිහි වූ අතර තව දුරටත් පරිපාලනමය පහසුව පදනම් කර ගනිමින් 1972 වැල්ලවාය ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ඨාස බෙදා වෙන් කරමින් තණමල්විල වශයෙන් ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ඨාසයක් පිහිටුවන ලදී (සේවාලාභී අත්වැල, ප්‍රා.ලේ.කා, තණමල්විල ,2013). එකල මෙම බිම්කඩ කෝන්ගල බිම්තැන්න කෝරළය හා සිත්තරම් පළාත් කෝරළය නමින් ප්‍රධාන බල ප්‍රදේශ දෙකකට වෙන්ව තිබූ බව ද සඳහන් වේ.
ඌව පළාතට අයත් ප්‍රධාන දිස්‍ත්‍රික්ක දෙකින් එකක් වන මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 11 කි. 1992.12.01 ගැසට් නිවේදනය අනුව ප්‍රධාන ග්‍රාම නිලධාරී කොට්ඨාස 14ක් ඇතුළත් වන තණමල්විල නම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉන් එකකි. එහි නියෝජනය වන ගම්මාන ගණන 75 කි.
එක් පැත්තකින් දකුණු පළාතට මායිම්ව ද අනෙක් පසින් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව ද සහ තවත් පසෙකින් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට සහ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් පසෙක මායිමට යාබදව ද තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා තිබේ.
මෙම පරිපාලන ඒකකයෙහි, භුමිය සහ කෘෂි පාරිසරික තතු අනුව තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළට අයත් වන භූමි ප්‍රදේශය, හෙක්ටයාර් 63,300 කි. (632.99km2 ) කෘෂි පාරිසරික වර්ගීකරණය අනුව පහත රට වියළි කලාපයට අයත් වන අතර භූ විෂමතාවය අනුව 90% ක්ම තැනිතලා භූමියෙන් සමන්විත ය. උතුරු අක්ෂාංශ 60 261 611 හා නැගෙනහිර දේශාංශ 810 71 5111අතර පිහිටා ඇති මෙහි භූමි කලාපය මුහුදු මට්ටමේ සිට මීටර් 134 ක උසින් පිහිටා තිබේ. සාමාන්‍ය උෂ්ණත්වය 26 0C -34 0C ඊසාන දිග මෝසම් සුළං හා නිරිත දිග මෝසම් සුළං මෙන් ම අන්තර් මෝසම් සුළං ප්‍රවාහයන් මගින් ප්‍රදේශයට වර්ෂාපතනය ලැබෙන ප්‍රධාන මාර්ගයන් වේ. ඒ අනුව මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය 1750 mm කි. රතු දුඹුරු පස (RBE) හා අඩු හියුමස් ග්ලේ පස (LHGS) දැකිය හැකි ප්‍රධාන පස් වර්ග වන අතර පසෙහි ph අගය පරාසය ගත් කළ තරමක් අම්ල හා උදාසීන ය.
ප්‍රදේශය හරහා ගලා බස්නා කිරිඳි ඔය සහ මව් ආර ප්‍රධාන ජල ධාරා වන අතර මල් ආර ද ජල පෝෂක ප්‍රදේශ සපයනු ලබන සෙසු ජල මූලාශ්‍රයකි. කොට්ඨාසයට මායිම් ව පිහිටා ඇති ලුණුගම්වෙහෙර ජලාශය ද තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීනුක්කුව වසම ජනතාවගේ ප්‍රමාණවත් ජල අවශ්‍යතා සපුරනවා මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා ද ඉමහත් දායකත්වයක් සපයනු ලබයි. මීට අමතරව ප්‍රදේශයේ මහා වැව් සහ කුඩා වැව් සියයකට අධික සංඛ්‍යාවක් ද පවතින නමුත් කෘෂිකාර්මික කටයුතුවලදී වර්ෂාව ලැබෙන ක්‍රමය මත පදනම් ව වගා කටයුතු සිදු කෙරේ. ඊට හේතුව වර්ෂයේ එක් කාලයක් වර්ෂාපතනය ද අනෙක් කාලය නියං සමයක් (මැයි - සැප්තැම්බර්) වීමත් ය.
වර්ෂාව අනුව යල සහ මහ ලෙස ප්‍රධාන කන්න දෙකක දී වී ගොවිතැන හා හේන් ගොවිතැන කරනු ලබන අතර ප්‍රදේශයේ ප්‍රධානතම ජීවනෝපාය වන්නේ ද කෘෂිකර්මාන්තයයි. වී ගොවිතැනට අතිරේකව කුරහන්, බඩ ඉරිඟු,මුං ඇට, කව්පි,තල, සහ රටකජු වැනි ධාන්‍ය වගා කරනු ලබන අතර වම්බටු, තක්කාලි ,මිරිස් ,මාළු මිරිස් ,මෑ, වට්ටක්කා වැනි එළවළු වාණිජ්‍ය මට්ටමින් වගා කෙරේ.පොල්, අඹ, කජු,සියඹලා,දිවුල් වැනි වගාවන්ද එළු, ගව, කුකුළු ආදී සත්ත්ව පාලනය ද අවම වශයෙන් ධීවර කටයුතු ද කෘෂිකර්මාන්තය හා ඈඳුණු අනෙකුත් ආදායම් මාර්ග වේ. එහෙත් විටෙක නිසි ලෙස වර්ෂාපතනය නෙැලැබී යාමත් සහ නියං සමයේ ජල මූලාශ්‍ර සිඳී යාමත් නිසා ජනතාව කෘෂිකර්මාන්තයේ දී ඉමහත් දූෂ්කරතාවනට ලක් වේ.
සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයනට සාපේක්ෂව අඩු පහසුකම් සහිත මෙම ප්‍රදේශයේ ආයෝජන හා යටිතල පහසුකම් පවතිනුයේ ද ඉතා අවම මට්ටමක ය. එම නිසා ඇතැම් සමාජ ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයේ දී එය සීමාකාරී සාධකයක් ව පවතී.
එමෙන් ම තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආගමික සිද්ධස්ථාන අතින් පැරණි උරුමයකට හිමිකම් කියා පායි. සඳගිරිගල ආරණ්‍ය සේනාසනය, මුතුමාල රජමහා විහාරය, කොටවෙහෙරමංකඩ දේව ගිරි විහාරය සහ වෙනත් පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන මෙහි ලා සුවිශේෂී වන අතර සංචාරක ආකර්ශනීය ස්ථානයන් ප්‍රවර්ධනය කළහැකි පරිසරයකින්ද සමන්විත ය.
කොට්ඨාසය තුළ මෙම දුෂ්කරතාවන් සහ අවශ්‍යතාවන් පදනම් කර ගනිමින් කොට්ඨාසයේ ජන ජීවිතය නංවාලමින් තිරසාර සංවර්ධනයක අඩිතාලම තබනු වස් අප කාර්යාලයේ මෙහෙවර ලෙස, ‘’රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම , තිරසාර සහ සැලසුම්සහගත සංවර්ධන ක්‍රියාලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීමෙන් බල සතු කිරීම’’. යන්න හඳුනාගෙන ඇත. ‘’අවදියෙන් අපි ඉදිරියෙන්’’ තේමාව රැගත් අප කාර්යාලයේ දැක්ම වනුයේ, ‘’විශිෂ්ටතම ඵලදායිතා කිරුළ හිමි රාජ්‍ය සේවයේ පෙරගමන්කරු වීම’’ යි.
ප්‍රදේශයේ ප්‍රධාන පරිපාලන ඒකකය ලෙස තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඓතිහාසික ගමන්මග පිරික්සීමේ දී සෙසු රාජ්‍ය ආයතනයනට ද පූර්වාදර්ශයක් වෙමින්, භූමියේ පවතින ආර්ථික හා සමාජීය අපහසුතා මැඩ ගනිමින් කළ මෙහෙවර අනුව, විශිෂ්ට ජයග්‍රහණ රැසක් ම අත් කරගෙන ඇත. ඒ අනුව තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2000 වර්ෂයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර පවත්වන ලද ප්‍රාදේශීය ලේකම් කළමනාකරණ තරඟයෙන් ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය ද 2004 වසරේදී ජාතික ඵලදායීතා තත්ත්ව සම්මානයෙන් ද 2015 වසරේදී ඵලදායීතා විශේෂ කුසලතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇත. එමෙන් ම 2017 වසරේ දී අනාගත පරපුරේ සුරක්ෂාව වෙනුවෙන් සමාජ ආරක්ෂිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට නව දායකයින් බඳවා ගැනීමෙන් ද ජාතික මට්ටමේ ඇගයීමට ලක් විය.
ඒ අනුව තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තම පරිපාලන බල ප්‍රදේශය තුළ සිය ප්‍රතිලාභී ජනයා වෙනුවෙන් ඉතාමත් ප්‍රශස්ත සේවාවක් සපයනු ලබන විශිෂ්ට රාජ්‍ය ආයතනයකි. එහි කාර්ය භාර්ය ඇතුළත් ව අප කාර්යාලය මගින් එළි දැක්වීමට නියමිත සම්පත් පැතිකඩ ප්‍රකාශනය වූ කලී අපගේ කොට්ඨාසය සතු මානව හා භෞතික සම්පත් හි ප්‍රකාශනය යි.
මුලසුන හෙබවීම
| නම | සිට | දක්වා |
| සරත් චන්ද්‍රසිරි විතාන | 1996 | 2000 |
| බුද්ධප්‍රිය නිගමුනි | 2001 | 2002 |
| ආර්.එම්.සෝමචන්ද්‍ර | 2002 | 2003 |
| ධර්ම ශ්‍රී අමරසිංහ | 2003 | 2005 |
| ජයන්ත සී රත්නායක | 2006 | 2009 |
| ජේ.එම්.උපාලි ජයසේකර | 2009 | 2010 |
| දයානන්ද රත්නායක | 2010 | 2013 |
| කේ.එච්.එම්.ඩී.විජේවර්ධන | 2013 | 2015 |
| කේ.එච්.ඒ.කැලුම් නිශාන්ත | 2015 |















